අල්ගොරිතම යුගයක මානව අනන්‍යතාවය
නික් චේටර් සිය 'The Mind Is Flat' කෘතියේ පෙන්වා දෙන පරිදි, මිනිස් බුද්ධියේ සැබෑ ශක්තිය ඇත්තේ "අවුල" දෙස බලා ඉන් "අර්ථයක්" මතු කරගැනීමේ හැකියාව තුළය. AI යනු දත්තවල රටා (Patterns) හඳුනා ගැනීමට සමත් වේගවත්ම තාක්ෂණික මාර්ගෝපදේශකයා විය හැකිය. කෘතිම බුද්ධියට දත්ත විශ්ලේෂණය කළ හැකි නමුත්, එයට "අමුතු නිශ්ශබ්දතාවයක්" (Awkward silence) හෝ ‘අසාත්මික ආදරයක්” යනු කුමක්දැයි තේරුම් ගත නොහැක. පරිපූර්ණත්වය යන්ත්‍රවල ලක්ෂණයකි. එනමුදු, සකස් නොකළ සහ පෙර සූදානම් නොවූ අත්දැකීම් අරභයා පැන නැගෙන වචන සහ සංකල්ප සමුදායක් දෛනික ජීවිතයේ අත්විඳින අප වනාහි; අල්මාරියක දොරක් විවෘත කළේ ඇයි දැයි අමතක වන, පුටුවක ගැටුණු විට එයට සමාව අයැදින, යන්ත්‍රයකට කිසිදා තේරුම් ගත නොහැකි "අසම්පූර්ණකම්" තුළ සුන්දරත්වය දකින ජීවීන් පිරිසකි. කොටින්ම අප සැරිසරන දත්ත ගබඩාවන් නොවේ. අප වනාහි කෝපි කෝප්පයක උණුසුම, වියෝගයේ කාංසාව, අතීත කාමය වැනි චිත්තවේගීය උද්දීපනයන්හි පිහිටෙන්, සැක කටයුතු ලෙස ඉතා ඉහළ රටා හඳුනා ගැනීමේ හැකියාව ඇති වෘත්තීය මට්ටමේ "අර්ථ ගොඩනගන්නන්" පිරිසකි.
පරිකල්පනය යනු හුදෙක් ෆීනික්ස් කුරුල්ලන්, මකරුන් හෝ යුටෝපියාවක් පිළිබඳව සිහින දැකීම පමණක් නොවේ. එය "මේ දේ මීට වඩා වෙනස් දෙයක් විය හැකිද?" යැයි ඇසීමට ඇති හැකියාවයි. ඇපල් ගෙඩියක් ඔබේ ඔළුවට වැටුණු විට, මිනිස් මනස එම සරල මොහොත ගුරුත්වාකර්ෂණ සිද්ධාන්තය දක්වා වර්ධනය කරයි. ආකිමිඩීස් නාන තටාකයට බැසගත් විට, තමාගේ සිරුරේ බරට සමාන ජල ප්‍රමාණයක් පිටතට ගලා යන බව දුටුවේය. මෙම සරල නිරීක්ෂණය ඔස්සේ ඔහු "ආකිමිඩීස් මූලධර්මය" (උත්ප්ලාවකතා බලය) සොයා ගත්තේය. කලබලයට පත් වූ ඔහු "යුරේකා!" (Eureka - මට සොයාගත්තා!) යැයි කෑගසමින් වීදිය දිගේ දිව ගිය බව පැවසේ. එහිදී තමා නිර්වස්ත්‍රව සිටි බව ඔහුට අමතක විය. සොයා ගැනීමේ උත්කෘෂ්ඨ භාවය නිසාම ඔහුට නිර්වස්ත්රභාවයේ අත්වැරැද්ද අමතක විය. එය මනුෂ්‍ය ස්වභාවයයි. වෛද්‍යවරයෙකු අපගෙන් කිසියම් රෝගයක ලක්ෂණ විමසා ඉන්, රෝගයට හේතු විය හැකි කාරණා තුනක් මවා ගනී. ව්‍යාපාරික කණ්ඩායමක් විසිරුණු ප්‍රතිපත්ති වෙනස්කම් දෙස බලා ඉදිරි ප්‍රවණතාවක් මවා ගනී. රහස් පරීක්ෂකයෙකු මඩ සහිත අඩි සලකුණක් දැක මුළුමහත් අපරාධ කතා මාලාවක්ම මවා ගනී. රූපක (Metaphors) සහ ප්‍රතිමාව (Analogy) යනු මනසේ කෙටි මං (Cheat codes) වේ. අපි "කාලය යනු මුදල්", "උපාය මාර්ගය යනු චෙස්", "සංවිධාන යනු යන්ත්‍ර", "වෙළඳපොල යනු කාලගුණය" යැයි පවසමු. මේවා වචනාර්ථයෙන් සත්‍ය නොවුවද, සැඟවුණු ව්‍යුහයන් දැක ගැනීමට ඒවා අපට උපකාරී වේ.
AI හට මෙය කළ හැකිද? යම් තාක් දුරකට ඔව්. AI යනු ඕනෑවට වඩා දත්ත ගොඩවල් විශ්ලේෂණය කිරීමට සහ මිනිසුන් අකමැති කම්මැලි වැඩ කිරීමට සමත්, කිසිදා නින්දක් නොලබන, නමුත් "අමුතු නිශ්ශබ්දතාවයක්" (Awkward silence) යනු කුමක්දැයි තවමත් නොදන්නා ඉතා වේගවත් අභ්‍යාසලාභියෙකු (Intern) වැනිය.
ඔබ මිනිසෙකු බව ඔප්පු කිරීමට ඉක්මන් ක්‍රම කිහිපයක් මෙසේ යෝජනා කළ හැකිය: ශීතකරණයක් විවෘත කළේ ඇයි දැයි අමතක වීම, යම් අනතුරකදී ඇත්තටම රිදෙන්නට පෙර "අයියෝ" යැයි කීම, දුරකථනය අතේ තබාගෙනම එය සොයමින් කෑගැසීම, විහිළුවක් තේරුම් ගොස් විනාඩි තුනකට පසු සිනාසීම, වැරදීමකින් බිත්තියේ හෝ පුටුවක ගැටුණු විට එයට සමාව අයැදීම, නැතහොත් කාමරයකට ඉතා විශ්වාසයෙන් ඇතුළු වී ක්ෂණිකව ඔබ එහි ආවේ ඇයි දැයි අමතක වීම ඉන් කිහිපයකි. AI හට දත්තවල රටා බලහත්කාරයෙන් හඳුනාගත හැකිය. නමුත් මිනිසුන්ට එම අවුල මුළුමනින්ම අලුතින් අර්ථකථනය කරමින්, "අපි මේ විසඳන්නේ නිවැරදි ගැටලුවද, නැතිනම් අපි මේ තර්ක කරන්නේ ස්ප්‍රෙඩ්ෂීට් මකරෙකු සමඟද?" යැයි ඇසිය හැකිය. යන්ත්‍රවලට අපේ බුද්ධිය සහ නිර්මාණශීලීත්වය අනුකරණය කළ හැකි නම්, මිනිසෙකු ලෙස අපගේ සුවිශේෂී බව තහවුරු කරන්නේ කෙසේද? ඒ සඳහා මූලික කරුණු තුනක් අප සතුය:
ශිල්පීය ප්රයත්නය (Show Human Effort): යන්ත්‍රයකට ක්ෂණිකව ප්‍රතිඵලයක් ලබා දිය හැකි වුවත්, එය පිටුපස ඇති "මිනිස් වෙහෙස" අනුකරණය කළ නොහැක. යම් කලා කෘතියක් පිටුපස ඇති කාලය සහ කැපවීම නිසා එහි වටිනාකම ඉහළ යයි. අප දැන් කළ යුත්තේ නිමි භාණ්ඩයට පමණක් නොව, එය නිර්මාණය කළ ක්‍රියාවලියට (The Process) ද වැඩි ඉඩක් ලබා දීමයි.
අසම්පූර්ණකමේ අලංකාරය (Show Human Flaws): අපේ අතපසුවීම්, අසාමාන්‍ය තැන් සහ අපූර්ව දෝෂ තුළ ඇත්තේ ජීවමාන බවයි. අපි දැන් තහවුරු විය යුත්තේ අපට පරිපූර්ණ විය හැකි දේ මත නොව, පරිපූර්ණ කළ නොහැකි දේ මතය.
පරිකල්පනීය විමසුම (Proof of Life): "මේ දේ මීට වඩා වෙනස් දෙයක් විය හැකිද?" යැයි ඇසීමට ඇති හැකියාව මිනිසා සතු පරම අයිතියයි. AI හට දත්තවල රටා බලහත්කාරයෙන් හඳුනාගත හැකිය, නමුත් මිනිසුන්ට එම අවුල මුළුමනින්ම අලුතින් අර්ථකථනය කරමින් ගැඹුරු ගැටලු ප්‍රශ්න කළ හැකිය.
බුද්ධියේ සැබෑ රහස මෙය විය හැකිය: එනම්, රහසිගත සහ අභිරහස් මනසක් තිබීම නොව, කෝපි එක නිවී යෑමට පෙර අවුල තුළින් අර්ථයක් ගොඩනැගීමේ හැකියාවයි. අල්ගොරිතම යුගයක අපගේ පැවැත්මේ කලාව ඔප මට්ටම් කරගැනීම යනු, යන්ත්‍රවලට අපව පාලනය කිරීමට ඉඩ දීම නොව, යන්ත්‍රවල තාර්කිකත්වය අපේ අසම්පූර්ණ, නිර්මාණාත්මක සහ මානුෂීය ස්පර්ශය සමඟ මුසු කිරීමයි. අපේ අනාගතය රැඳී ඇත්තේ පරිපූර්ණ දේ නිර්මාණය කිරීම මත නොව, අපටම ආවේණික වූ අඩුපාඩු සහිත, වෙහෙසක් දැරූ සහ ආත්මීය අත්දැකීම් සහිත නිර්මාණවලය. යන්ත්‍රවලින් පිරුණු ලෝකයක, අපි සෙවිය යුත්තේ බුද්ධිමත් බව පමණක් නොව, අපේ මානවභාවයේ අසම්පූර්ණ සුන්දරත්වයයි.
උපේක්ෂා නුවන්ශ්‍රීනි
.....................................................................................................................................................................
පාද සටහන්
0 1. ෆීනික්ස් කුරුල්ලා - ගින්නෙන් දැවී අළු වී, නැවත
එම අළු වලින්ම උපත ලබන මනක:ල්පිත පක්ෂියෙකි. මෙය මරණයෙන් පසු උත්පත්තිය ලැබීම (Resurrection)
සහ අමරණීයභාවය සංකේතවත් කරයි.
02.මකරා - ඇතැම් සංස්කෘතීන්වල දකින්නට ලැබෙන, ගින්න පිට කරන, පියාපත් සහිත දැවැන්ත උරගයෙකි. බටහිර සාහිත්‍යයේ මෙය බොහෝ විට විනාශයේ සංකේතයක් ලෙසත්, පෙරදිග සාහිත්‍යයේ ප්‍රඥාවේ සහ බලයේ සංකේතයක් ලෙසත් දැක්වේ.
03. යුටෝපියාව - සෑම දෙයක්ම පරිපූර්ණව පවතින, පීඩනයෙන් තොර සමාජයක් පිළිබඳ සංකල්පයයි. තෝමස් මෝර්ගේ 'Utopia' කෘතියෙන් මෙය ජනප්‍රිය විය.

Comments
Post a Comment